දෙවැනි රාජසිංහ රස කතා

රාසිං දෙවියන් එහෙමත් නැත්නම් දෙවන රාජසිංහ රජතුමා කියන්නෙ ලියනවනම් මේ ‍බ්ලොග් එකම පිරෙන්න ලියන්න තරම් රස කතා ගොඩක කතා නායකයෙක්.විශේෂයෙන්ම කියන්න ඕනෙ මට මුලින්ම මේ ‍බ්ලොග් එකේ රාජසිංහ රජතුමා ගැන ලියන්න හේතුව තුන්පත් රටා බ්ලොග් එකේ තිබිල මේ ලගදි කියවපු මෙන්න මේ ලිපි

රාසිං දෙවියන් එහෙමත් නැත්නම් දෙවන රාජසිංහ රජතුමා බොහොම දක්‍ෂයි හිටිවන කවි කියන්න.රජතුමා වටා ගෙතුනු කවි වගේම ඒවයේ පසුබිම් කතාත් බොහොම රසවත්.සාමාන්‍ය ඇදුමින් සැරසී රට වටා සැරිසරපු එක රාජසිංහ රජතුමාගෙ සිරිතක්. දවසක් ඔය විදිහට රහසින් යද්දි පැල් රකිමින් සිටි ලස්සන තරුණියක් දැකල  පොඩි හිතක් පහල වුණු රාජසිංහ රජ්ජුරුවෝ මේ තරුණියට  නොපෙනෙන්නට සැගවීලා  හිටිවන කවියක් කිව්වලු.

දිලිසෙන සිසි නමල් මුවනෙක පෑ      සොබන
සොබන දෙපියයුරු වසමින් සළු            පටින
පටින් සමන් වරලස බැඳ බැඳ                යටින
සිටින මෙනුඹ කාරණා කිම ලඳ             ඔතන

මේක අහගෙ හිටපු අර තරුණිය දැක්කෙවත් නැති රජතුමාට ඇහෙන්න පිළිතුරු කවියක් කිව්වලු මෙන්න මෙහෙම. මේකනම් ගොඩක් අය අහල ඇති.

ලස්සන හිමවතේ මා වී                පැසෙන්නේ
දුක්දෙන අලි ඇතුන් පන්නා              දමන්නේ
රැක්මෙන දෙවියන්නේ වෙල බත්      බුදින්නේ
දුප්පත්කම නිසයි මම පැල්              රකින්නේ

මේක අහපු රාජසිංහ රජතුමා සතුටට පත් වෙලා හැංගිලා හිටි තැනින් එලියට ඇවිත්.මේ හැංගිලා කවි කිව්වෙ රාජසිංහ රජ්ජුරැවන් බව දැක්ක මේ තරුණිය බයවෙලා පැලත් දාල දුවන්න ගත්තලු. රජතුමත් පරාදවෙන්න කැමති නැති නිසා තව කවියක් කිව්වලු.

විකලා මරණ සිහ රජෙකුත් නොවී           නම්
විදලා මරණ වැදි රජෙකුත් නොවී            නම්
ඇනලා මරණ කුළු මීමකු නොවී              නම්
දුවලා වෙහෙස නොගනින් ලඳ බියේ       නම්


රජතුමාට බයවෙලා පැනල දුවපු මේ තරුණිය දුවන එක නතර කරල රජතුමාට මෙහෙම කිව්වලු.

රෑන පිට රෑන තුඩ රෑන ගීය               න්
අල්ලා අතට දුන්නත් අතට ඊය         න්
බළලුන් දුටුවාම බිය නැද්ද මීය        න්
දුටුවාම බිය නැද්ද රාසිං දෙවිය        න්

රජතුමා පස්සෙ දවසක මේ තරුණිය හොයාගෙන හිටිවන කවි කීමෙ දක්ෂතාවයට සම්මාන වශයෙන් දෙවියන්ගේ වෙල නින්දගම් කරල ඇයට පැවරුවයි කියලයි පත පොතේ සඳහන් වෙන්නෙ.


රාජසිංහ රජතුමා ගැන තව කතා තියෙනව.ඒව ඊලග පෝස්ට් එකෙන්.පිංතුරය wikipedia. comment එකක් දාල යන්න අමතක කරන්නත් එපා.

පුරණය

කාලයක් වෙනත් බ්ලොග් එකක් ලිව්වත් පහුගිය කාලෙ තිබුණ කාර්‍යබහුලත්වය නිසා ඒක එහෙම්මම නතර වෙලා..ඒක ලියන කාලෙ ඉදන්ම හිතේ ආසාවක් තිබුන.දන්න කියන අහන දකින හැමදේම ලියන්න බ්ලොග් එකක් පටන් ගන්න කියල.මේ ඒ ආරම්භය තමා.හිතට දැනෙන බෙදාගන්න පුලුවන් ඕනම දෙයක් මේකෙ ලියන්න තමයි මගෙ අදහස..සිංහල ‍බ්ලොග් කියවන සේරටම ආරාධනා කරනව මේකෙ ලියන්න අවශ්‍ය දේවල් ගැන ලියන දේවල් ගැන අඩුපාඩු ගුණ දොස් ඔය සේරම ගැන මේකෙ ලියන්න අදහස් බෙදාගන්න..එහෙම නම් පලවෙනි පෝස්ට් එකෙන් හමුවෙමු.

කල්පනා ලොව මල් වනේ
Related Posts Plugin for WordPress, Blogger...
 
ප්‍රකාශන හිමිකම් (c) 2011 සංහිත
නිර්මාණය සවීර ගමගේ